ඉස්කෝලේ යන කාලෙට හිතෙන්නේ ඒක මොන කරුමයක්ද කියලා..? උදේම නැගිටලා, ගුරුවරු කියන විදියට වැඩ කරන එක, ඒ මදිවට ටියුෂන් ක්ලාස්...
විභාග ලංවෙන කොට මොලේ කොලොප්පම් වෙනවා, ඇතුලේ හිරවෙච්ච ටික ආපහු එලියට අරගෙන ලියන්න ගියාම. ඇයි දෙයි හාමුදුරුවනේ වාරයක් උගන්නපුවා පැයෙන් දෙකෙන් ලියන එක එහෙම බලනකොට අපි මාරම වැඩ්ඩො. ඔය ඔක්කොමත් කොහොම හරි කරයි කියමුකෝ....,
මතකද ඉස් ඉස්සරෝම පන්තියේ උන් ටික ඉස්සරහාට ගිහින් කතාවක් කවියක් කියපු එක..? එහෙම නැත්නම් සිංහල සමිතියේ හරි බෞද්ධ සමිතියේ හරි වෙන මොහොක හරි ස්ටේජ් එකට නැගලා කතාවක් පවත්වපු දිනය..? කකුල් ගැහෙන්න අරන්, තොල කට වේලිලා හීනියට මුත්‍රා බරක් හැදුනු හැටි...?
ඒක ස්වාභාවිකයි මිත්‍රවරුණි, ඉස් ඉස්සෙල්ලා ඔහොම වෙනවා අපිට දැනෙන ස්ට්‍රෙස් එකත් එක්ක. කොහොම හරි ස්ටේජ් එකට නැගලා හරි ඉස්සරහට ගිහින් හරි වචනයක් දෙකක් තටම ගත්තාම වැඩේ ගොඩ.
හැබැයි සමහරු ඉන්නවා එහෙම එන චාන්ස් එක මග හරින උන්. උන්දලා කරන්නේ වැඩේ කල් දාන එක. ඊළඟ පාර මම කියලා. එතකොට කොහොමද සනීපේ..? යන්තම් බේරුනා කියලා හිතුවාට ඒක තාවකාලික සැනසීමක්. ටික වෙලාවකින් පටන් ගන්නවා සංසාරික දුක වගේ සිද්ධියක්. කල් දාපු දිනය එනකන් ඉන්න ඕනේ පිච්චි පිච්චි. එදාට හරි කමක් නැහැ වැඩේ ගොඩ දෑ ගත්තොත් සනීපයි. ඒත් තව ටික දෙනෙක් ඉන්නවා එදාට ඇබ්සන්ට්. අන්න උන්ට නම් බඩුම තමයි. අර දුකේ ඇලි ගැලී විඳවන්න වෙන්නේ.
සමහර කතා ඩිරෙක්ට් කියන්න පුළුවන් උනාට සමහර කතාවන් නම් ආදරේ වගේ. එහෙන් මෙහෙන් පොඩි ලයින් එකක් දාලා ගත්තාම
රෝමාන්තික වැඩියි. ඉතින් අද කතාවත් අටුවා ටීකා එක්ක පටන් ගත්තේ සමහර කරුම උනත් හරියටම උරුම කරගන්න ඕන නිසාවට. එහෙම උරුම කරගත්තාම තමයි ඒක කරුමයක් කියල අඳුරගන්න ඇහැකි වෙන්නේ.
මෑතක කථිකාචාර්ය වරියක් හමුවෙන්න ගියපු වෙලාවක මම උන්නේ ඇයගේ ඇස් ඉස්සරහ. එක්තරා විෂයක් ගැන අපි අතරේ කතිකාවක් ගොඩ නැගෙන කොට එයාගේ මුණ නිකන් හරියට ලුස්මොෂන් හැදුනු පස්සක් වගේ වෙන්න ගත්තා. බඩ එලිය උනත් ගියාමයි සැනසීම. එයාත් හැඟීම් ගොඩක් එකපාර හිර කරගෙන වේදනා විඳින කොට දෙතොලට නිකන් අර්සස් වගේ. ගැහෙනවා, වෙව්ලනවා, හැබැයි හරිම හීනියට. අතරමග ආ දුරකථන ඇමතුමට පින් සිද්ද වෙන්න එයා ගියා නොපෙනීම.
“..ඔය මිස් ඔහොම තමයි මහත්තයා... ගොඩක් වෙලාවට මග හැරලා යනවා...”
අහල උන්නු ඇගේ හිතවතියක් එහෙම කිවුවේ.
ඉතින් ඔයාටත් කා එක්ක හරි ඇස් දිහා බලන් කතා කරනකොට තොල් වෙව්ලනවද..? එහෙම නම් ඉතින් සිස්ටම් එරර් එකත් වෙන්නත් පුළුවන්.
පහුගිය දාක මගෙත් එක්ක වැඩ කරපු සහෝදරිය කිවුවා කතාවක්.
"අයියේ, පෙරේදා උදේ රුම් එකේ ඉන්නකොට කොල්ලෙක් ආවා.. දොර රෙද්ද පොඩ්ඩක් එහාට කරලා යන්තම් බලලා ආයේ ගියා.. කට්ටිය යන එන නිසා මම ගණන් ගත්තේ නැහැ.. ටික වෙලාවකින් ආයේ ඒ සීන් එකමයි.. ඒ පාර මම බැලුවාම ඈතට ගියා.. මට හිතුනේ සයිකොටික් එකෙක් වෙන්න ඇති කියලා.. ටික වෙලාවකින් මට දැනුනා කවුරු හරි දොරගාව ඉන්නවා වගේ.. මම එක පාරටම දොර රෙද්ද එහාට කරලා බැලුවා.. අර පිරිමි ළමයා.. ඔයාව හම්බවෙන්නලු අයියේ ආවේ.. මම කිව්වා අද එන්න කියලා..”
මොහොතකින් ආපු ඒ තරුණ ගැටයා හිටියේ බිම බලාගෙන. මන් ඉතින් අවස්තාව උදා කරලා දුන්නා කතාව පටන් ගන්න.
“සර්, ඉස්කෝලේ යන කාලේ ඉඳලම මට ඉස්සරහට යන්න බැහැ.. මහා
අමුතු ලැජ්ජාවක් දැනෙනවා... මම ඉතින් සමිති එහෙම තියෙන දවස්වලට එක්කෝ යන්නේ නෑ.. එක්කෝ ඉන්ටර්වල් එකේදී පනිනවා.. ඒ ලැජ්ජ ගතිය එන්න එන්නම වැඩි උනා.. මට සෙට් උනේ සේල්ස් රෙෆ් රස්සාවක්.. කඩවලට ගිහින් කතා කරන්න තියෙනවා කියල දැනගත්ත ගමන්ම හින් දාඩිය දාන්න ගත්තා.. සහතික එහෙම්ම තියලා මම ගෙදර ආවා.. මම ඒ ලේවලුත් පාස් සර්.. දැන් පොඩි ඉඩම් කෑල්ලක තේ වවනවා.. ඒ කට්ටියගෙන් අයින් වෙලා ඉන්න ඕන නිසා.. ගෙදරින් හෙන කචල් මේකට.. රස්සාවකට යන්නේ නැද්ද? කසාදයක් බඳින්නේ නැද්ද කියලා? දැන් උනත් අර මිස් එලියට ගිය නිසා තමයි මෙහෙම කතා කරගන්න පුළුවන් උනේ.....”
ඉතින් මිත්‍රවරුනි ඔබත් ඒ වගේද...? ආස හිතෙනවද තේ කෑල්ලක වැඩ
කරන්න..? එතකොට අවුල ලිහෙනවද..?
මැදිවියට ආසන්න පට්ට ලස්සන කන්‍යාවියක් කිවුවේ මෙහෙම..,
“මට මැරෙන්න ඕනේ.. මෙහෙම බයෙන් ජිවත් වෙනවට වඩා ඒක
හොඳයි...... ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනත්... එයා දැන් ගෙදර එන්න පටන් අරගෙන... ඉස්සෙල්ලම ආව දවසේ අම්මලා එක්ක කතා කරලා මගේ ගාවට එනකොට මට දුවන්න හිතුනා... මං කවදාවත් කොල්ලෙක් එක්ක එහෙම තනි පංගලමේ කතා කරලා නැහැ.. ඇත්තටම මම ආසා උනාට මට ඒකටහයියක් නැහැ.. මොකක්දෝ මන්දා බයක් එන්නේ හිතට.. අම්මා එයාට කියනවා ඇහුනා ගිහින් කතා කරලා දැන අඳුර ගන්න කියලා.. එයා ටික ටික ලංවෙන්න හදන කොට මම ටික ටික දුරට යනවා... මේ ලඟදි ඇහුවා මගෙන් ‘ඔයාට මොකක් හරි අවුලක්ද බබා’ කියලා.. මං කොහොමද මේ අවුල එයාට කියන්නේ...?”
ඉතින් කවුරු හරි ලඟට එනකොට ඒ තරමටම අපහසුවක් දැනෙනවද..?
කාටහරි හිනා යන්න පුළුවන් ඒ කතාව ඇහුවාම. මතක තියාගන්න, 'සබ්බේ පෘතග්ජනා උන්මත්තකා' කියලා. ඔබේ සිස්ටම් එකෙත් අවුල් ඇති ඕනෙ තරම්. ඒ නිසා හිනා වෙනවා නම් ඉස්සරහට තමන්ටත් හිනාවෙන්න ලැහැස්ති වෙලාම හිනාවෙන්න.
මිත්‍රවරුණි, අපි හැමෝටම ලැජ්ජාව බය වගේම කම්පනය ඇතිවෙන එක හරිම සාමාන්‍යයි. හැබැයි ඔය සියකින් දෙසීයකින් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඒ සාමාන්‍යය අසාමාන්‍ය විදියට බලපාන අය. තේරෙන බාසාවෙන් කිවුවොත් මෙන්න මේ කියන දේවල් වලින් එකක් හෝ කිහිපයක් ඔබටත් තියෙනවාද කියලා බලන්න.
සෙනඟක් ඉස්සරහාට යන්න තියෙන සබකෝලය, එහෙම නැත්නම් බය වගේ දෙයක්. එතකොට එහෙම කණ්ඩායමක් දකින කොට “අද නම් බඩු හරි. මුන් මට මොකක් හරි වැඩක් සෙට් කරයි” කියලා සිතිවිල්ලක් එන අය. ඒ එක්කම ඒ ඉන්න කණ්ඩායමේ අය කුටු කුටු ගාන්නේ තමන් ගැන කියලා හිතෙන අය. එහෙම හිතෙනකොට ඒ අයව මග හැරලා ෂෝට් කට් එක දුර උනත් ඒ ෂෝට් කට් එකෙන් එයාලව මග ඇරලා යන අය. කොහොමින් හරි එහෙම තැනකට සෙට් උනොත් දාඩිය දාලා. ඇඟ පත වෙව්ලලා තොලකට වේලෙන අය, ඒ එක්කම පපුව ඩිග් ඩිග් ගගා සද්දෙටම ගැහෙන අය....
එහෙම නම් මේ නුඹලා ගැනම තමයි මිත්‍රවරුණි. ඒක ඉස්කෝලේ කාලේ ආව එකක්ද ඊයේ පෙරේදා ආව එකක්ද කියන එක නෙමෙයි ගැටලුව. ඇත්තටම එහෙම එකක් ඇතිවුනේ කොහොමද කියන එකත් නෙමෙයි ප්‍රශ්නය. ඒක අවුලක්ද කියන එකයි උභතෝකෝටික ගැටලුව විය යුත්තේ සහ ඒකට මොකක්ද කරන්න ඕනේ කියන එකයි සෙවිය යුත්තේ. මතක
තියාගන්න මග හරින්න මග හරින්න වැඩේ තව දරුණු වෙනවා කියන එක. සමහර අවුල් වලට බෙහෙත් ඕනෙම නැහැ. වෙන පිළියම් තියෙනවා ගොඩ යන්න.
එහෙම අවුලක් තියේ නම් හෙමිට කියන්න.... කට්ටිය හිනා උනාට “සබ්බේ පෘතග්ජනා උන්මත්තකා...."
| අමිල අදිකාරම්

Comments
Post a Comment