Skip to main content

කවි පොත


වැස්ස කියන්නේ මාර ම දෙයක්. මං එහෙම කීවම ඔබ සමහර විට ඒකට එකග වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. සමහර විට වැස්ස ඔබට කරදරයක් වෙන්නත් පුලුවන්. හැන්දෑවේ ඔපිස් ඇරිලා ගෙදර යන්න පාරට බහිද්දි කුඩේකුත් නැති වෙලාවක වැස්සොත් ඔබ වැස්සට වෛර කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒ විදියට වැස්සට වෛර කරන ඔබම සමහර විට මාස ගානකින් වැස්ස නැතිව කාෂ්ඨක වෙලා නියඟයට අහු වුණ වෙලාවක වැටෙන වැස්සට ආදරය කරනවා. අන්න ඒ නිසයි මං කියන්නෙ වැස්ස මාර දෙයක් කියලා.

වැස්ස ගැන ලියාගෙන ආවට මං ලියන්න හිතුවෙ වැස්ස ගැන නෙවෙයි 'වැහි බින්දු කටහඩ' ගැන. වැහි බින්දු වලට කතා කරන්න පුලුවන් ද? ඔබ එහෙම අහයි. ඇයි බැරි, වැස්ස වෙලාවක අහං ඉන්න වැහි බින්දු කතා කරනවා ඇහෙනවා. ඒත් මං කියන්න යන්නේ වැහි බින්දු කතා කරන හැටි ගැනත් නෙවෙයි. 'වැහි බින්දු කටහඩ' ගැන. ඒ කියන්නෙ ළහිරු කරුණාරත්න මීට අවුරුදු දෙහෙකට විතර කලින් කරපු පොතක් ගැන. පොත කරලා තියෙන්නෙ හරියට ම කියුවොත් 2017 දි, සන්ථව ප්‍රකාශනයක් හැටියට තමයි පොත ඇවිත් තියෙන්නෙ.

පොතේ නමේ ම තියෙනවානේ මොකද්දෝ අමුතු feel එකක් දෙන ගතියක්. 'වැහි බින්දු කටහඩ' කියුවම ඒක මාර විදියට නිසොල්මනේ විදගත යුතු දෙයක්. ඉතින් ළහිරුගේ කවි ටිකත් එහෙමයි. ඒවා විදින්න ඕන නිසොල්මනේ. දැන් ඔබ බලයි මං මේ ලියන්නෙ ළහිරු ගෙ පොත ගැන criticism වගේ එකක් කියලා. මං නැහැ කියන්නෙත් හැබැයි ඔවු කියන්නෙත් නැහැ. සමහර විට ඒක එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. Criticism Theory වලින් කවි පොතක් මනිනවට වඩා මං ආස ඒ පොත දැනෙන තැනකින් අල්ලගන විදින්න. රහ කරන්න. ජීවිතේ තියෙන පුංචි පුංචි සිදුවීම් එක්ක ඒ පොතේ තියෙන පරිකල්පනයන් connect කරගන්න.  සමහර විට මේක භරතමුනිගේ පටන් ගොඩක් සංස්කෘත ඇදුරෝ කියුවා වගේ රස සිද්ධාන්තයත් එක්ක සමීපව බැදෙන කියමනක් වෙන්නත් පුලුවන්.

ළහිරුගේ පොතේ කවි ටික කියවන්න කලින මං ඒ පොතේ 'කටහඩ' කියලා ළහිරුගේ මුල් කෑල්ල ආසාවෙන් කියවනවා. ඒකෙ තැනක ළහිරු වැස්ස ගැන මාර ලස්සන idea එකක් දෙනවා.

"ඇයි හැමෝම කුඩ ඉහළගෙන ඉන්නේ..? සොබා දම් දෙතොලින් තියන හාදු බිදු නේ ද ඔය අවුරන්නෙ.."

ඒක හරි ලස්සන Imagination එකක්.  ළහිරුට කවියෙක් වෙන්න තියෙන්න ඕන පළවෙනි ම ගුණාංගයක් තියෙනවා කියලා බය නැතිව කියන්න පුලුවන් ඒ පේළිය කියවපුවා ම. ගොඩක් වෙලාවට ගොඩක් කවියොන්ට මේ වැඩේ බැහැ. Reality ඒ විදියට ම ලීවම ඒවා කවි කියලා කීවට අපිට ඒක විඳ ගද්දි රහක් දැනෙන්නේ නැහැ. හැබැයි ඒ Reality එක Imagination කරලා ලීවම ඒක හරි රහයි. හොද කවියෙක් වෙන්න නම් මේ වැඩේ පුලුවන් වෙන්න ඕන. අපි එදිනෙදා ජීවිතේ දකින දේවල් ඒ විදියටම අමුවට ලියන්නේ නැතිව ඒවා පරිකල්පනය කරන්න පුලුවන් එක හොද කවියෙක් ගේ ලක්ෂණයක්.

ප්‍රේමය වගේ දෙයක් ගැන ලියද්දි, විශේෂයෙන් ම බැදීම් ගැන ලියද්දි ඒකට ගන්න සිදුවීම් ගැන පරිස්සම් වෙන්න ඕන. මොකද බැදීම් හදාගත්ත, බිදගත්ත මිනිස්සුන්ට බැදීම් ගැන ලියද්දි ඒවයේ පිළිනු රහක් තියෙන්න බැහැ. ඒක පපුවෙන් විද ගන්න පුලුවන් එකක්. සමීපාත්මීය ගතියක් එක්ක ඒ කවි ලියවෙන්න ඕන. දැන් නිකම් හිතන්න, කපල් එකක් සැප්තැම්බර් බුක් පෙයා යනවා කියලා. සමහර විට මේ අත්දැකීම ඔබත් විදලා ඇති. හැබැයි, අවුරුද්දෙන් අවුරුද්ද තියෙන සැප්තැම්බර් බුක්ෆෙයා එකට හැමදාම අපි යන්නෙ එකම ගෑණු ළමයා නැත්තම් පිරිමි ළමයා එක්ක ද, මං කියන්නෙ බැදීමක් බිදෙන්න පුලුවන්. බිදුනට පස්සෙ මේ අවුරුද්දෙ ගිය කෙනා ලබන අවුරුද්දෙ නැහැ නේ. එතකොට යන්න වෙන්නෙ තනියෙම. දැන් ඕක කොහොමට දැනෙන්න පුලුවන් ද, ඒක Nostalgic feel එකක් වෙන්නත් පුලුවන්. සමහර විට අපිට එයාව මතක් වෙනවා. එත් එක්ක දොරටුවෙන් ඇතුල් වුණ හැටි, පොත් තෝරපු හැටි, නූඩ්ල්ස් කෑව හැටි. මේ ඔක්ක ම අතරෙ ඒ වතාවෙ සල්ලි මදි නිසා නොගෙන ඊගාව අවුරුද්දෙ ගමු කියලා තීරණය කරලා ආව පොතක් මේ වතාවේ හමුවෙන්නත් පුලුවන්. ඒත් එතකොට ඇය අහිමියි. මේවා පපුව ඇතුලෙ පෙරලි කරන හැගීම්. මේ වගේ සිද්ධියක් එක්ක 'පොත් ප්‍රදර්ශනයේදි' කියන Topic එක යටතේ ළහිරු දාන කවිය හරි හැඩයි. ඒක ඇතුලේ අපිට අපේ අතීතය ම මුණ ගැහෙනවා.

"ඔබ සමග තේරූ පොත්පත්
තනි ව අතපතගාමි
අයකැමි මාරු කාසි ඉල්ලූ සද
පසු හැරී ඔබේ නම අමතමි.."

"ඔබ සෙවූ
ගියවර නොතිබූ පොතක් දැක
නවතිමි
පසුම්බියට අත යවමි
ඔබ අසල ඇති දැ යි බලමි.."

කවිය අවසන් කරන තැන තමයි ඒකෙ ලස්සන ම. මොකද සමහර විට තවමත් ප්‍රේමය වෙනුවෙන් බලාපොරොත්තුවක් තියෙනවා කියන හැඟීම අපිට දැනෙන්න අරිනවා. ගොඩක් වෙලාවට එහෙම අය අපේ ජීවිතවල ඉන්නවා. සමහර වෙලාවට ඒ වගේ අතහැරුණු කෙනෙක් ආයෙම එහෙම තැනකදි අහම්බයකින් හම්බෙන්නත් පුලුවන්. සමහර විට එයා වෙන කෙනෙක් එක්ක ඇවිත් ඉන්නත් පුලුවන්. ඒත් අපි තාමත් ඒ මතක වලට ආදරේ නිසා ඒ හමුවීමේ ක්ෂණය ජීවිතේ මොකද්ද මිහිරක් ගෙන්න ඉඩ තියෙනවා. ඒ මිහිර ළහිරුගේ කවියෙ තියෙනවා.

ගෑණුත් හරියට ගිනිකදු වගේ. ඒක ඇත්ත. ඒක ලස්සන Imagination idea එකක්. ඇත්තටම ගිණි කදු හැම තිස්සෙ ම ලෝදිය දාගෙන පුපුරාගෙන ඉන්නෙ නැහැනේ. අපි හිතමුකො පූජියාමා ගැන. පූජියාමා මොනතරම් ලස්සනද? දැක්කම ගිනිකන්දක් කියලා හිතා ගන්නත් බැහැනෙ. කොයිතරම් Photography වලට පූජියාමා අරන් තියෙනවා ද? හරියට ලස්සන කෙල්ලෙක් වගේ. හැබැයි කෙල්ලො ඉන්නවා ලස්සන වුනාට හිත ඇතුළෙ මහ ගොඩක් ගින්දර ඇවිලෙනවා. ඒකත් හරියට පූජියාමා වගේ.

"අක්ෂි කැමරා මාන මානා
දෘෂ්ටි විතාන ඇල්බම මත
තැන්පත් කරගනිති බෝ දන
නුඹගෙ රුසිරි.."

"සුසුදු හිම වත
ලොවට පෙන්නා
පැසෙන දුක් තැවුල් ලෝ දිය
ළමැද සගවගන්නී.."

ඒක ළහිරුගෙ කවියක්. 'ෆූජියාමා' කියන නම තමයි ළහිරු දාන්නෙ@. කවිය පටන් ගන්නෙ රූපකාර්ථයක් එක්ක.

"දුලන රූ සිරිනි
ෆුජියාමා යුවතී.."

හැබැයි මට හිතෙනවා ඒ රූපකය නිසා අපිට ෆුජියාමා යි ගැහැණියයි සමාන කරන්න ළහිරු ගන්න උත්සහය නිකම්ම දැන ගන්න ලැබුණ කියලා. ඒකෙන් කවිය ගැන සෑහෙන්න හිතන්න තිබ්බ අවස්ථාව අහිමි වුණා කියලා හිතෙනවා. හැබැයි ළහිරු ඒ කවියෙ භාෂාව එක්ක පොඩි පොඩි සෙල්ලම් ටිකක් දානවා. ඒවා නිසා අපිව කවියට ඇදලා තියා ගන්න පුලුවන්.

"එකම වලාකුළු සාරිය
හැම අහස් මගුල් ගෙදරකට ම
හෝද හෝදා අදින්නී..."

ළහිරුගෙ ඒ භාෂා සෙල්ලම පොතේ කවි කිහිපයක දි ම ඉස්මතු වෙන හැටි දකින්න හම්බෙනවා. ඒක කවියෙක් හැටියට හොද සාධනීය කාරණයක්. දැන් කවි ලියන ගොඩක් කවියෝ ඇත්තටම භාෂාව ගැන Study කරන් නැහැ. ඒ අය හිතට එන දේ දන්න වචන වලින් ලියනවා. ඒක රස කරන්න උපමා, රෑපක, දීපක, අනුප්‍රාස, ශ්ලේෂ, සංකේත වගේ අලංකාර මොකුත් ම දාන්න දන්නෙ නැහැ. හැබැයි දන්න හැම භාෂා අලංකාරෙම දාලා කවි ලියන්නත් බැහැ. ඒක නිසි තැනට රිසි විදියට ගළපා ගන්න පුලුවන් වෙන්න ඕන.

දික්තලා කාලගෝල කියන්නෙ අපි හැමෝම දන්න කතාවක්.  පරණ කතාවක්. හැබැයි ඒකෙ new version එක ළහිරුගෙ පොතේ තියෙනවා. පරණ කතාව අපි හැමෝම දන්නවානෙ. දික්පිටියා කාලගෝලයාගෙන් දික්තලාව අරන් යනවා. ඒ පරණ කතාවෙන් ගැහුව නූර්තියෙ දි කාලගෝලයා කෑ ගහලා කියන සින්දුවත් මට ඔය අතරෙ මතක් වෙනවා. ඒක කියන්නෙ උදේනි චන්ද්‍රසිරි.,

"ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..."

ඕකෙ හැටියට නම් දික්තලා අහිමි වීම කාලගෝලයාට දරා ගන්න බැහැ. හැබැයි ළහිරුගේ new version එකේ දි ඒක වෙනස්. ඒක ළහිරු imagination කරන්නේ මේ මොහොත සහ සැබෑ ප්‍රේමය කියන කාරණා ඇතුළෙ ඉදන්. පරණ කතාවෙ කාලගෝලට දික්තලා ගැන තිබුණෙ ශෘංගාරාත්මක බැදීමක්. ඒ නිසා අහිමි වීම ඇතුලේ දරාගන්න බැරි ලෝබකමක් තිබ්බා. හැබැයි ළහිරු මවන කාලගෝල ඊට වෙනස්. ඒක හොද කවියෙක්ගෙ විතරක් ම නෙවෙයි හොද නිර්මාණ කරුවෙක් ගෙ ලක්ෂණයක්. පැරණි දේවල් වන්දනා කර කර ම නො ඉද ඒ දේවල් වලින් නව්‍ය නිර්මාණ ස්වාධින අනන්‍යතාවයක් තියාගෙන නිර්මාණය කරන එක වටිනවා.

"සත් වසක් කඹුට
ඉපයූ එක ම වස්තුව
දික්තලා ඔබ පමණි..."

"අපි බැදලා පදිංචි වුණා
ණය ගං ඉවුරේ
තැනූ පොඩි මැදුරේ.."

ළහිරු මේ මොහොතෙ කුටුම්බ ජීවිතේ දුෂ්කර භාවය ගැන කියනවා. ඒ වෙලාවෙ දික්තලා දික්පිටියා එක්ක පැනලා යන්නෙ මේ දුෂ්කර කුටුම්බ ජීවිතයෙන් මිදෙන්න. ඒක සාදාරණ පළා යාමක් නෙවෙයි. හැබැයි ළහිරු ඒක කාලගෝලගේ හිතේ තිබ්බෙ අවංක ප්‍රේමයක් කියලා අපිට දැනෙන් ඇරලා කාලගෝල ලවාම ඒපලා යාම සාධාරණීය කරනවා.

"කමක් නෑ දික්තලා
මට එගොඩ වෙන්න බැරි
මේ ගඟින්
ඔයා හරි එතෙර ගිය එක ගැන
තරහා නෑ මම..."

මේ වගේ හොද කවි නැත්තම් මට දැනෙන විදියට නම් මං කියන්නෙ හොද රහ කවි කිහිපයක් ම ළහිරුගේ පොතේ තියෙනවා. ඒවා හරියටම රහ කරන්න නම් වැහි බින්දු කටහඩ අහන තරම් ම පරිස්සමට වැහි බින්දු කටහඩ කියවන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි කවි තිස් පහ ඇතුළේ යම් පමණකින් රහ අඩු කවිත් තියෙනවා. සමහර තැන් වලදි ළහිරු තෝරගන්න අනුභූති ගැන දෙවරක් හිතුවා නම් හොදයි නේද කියලා හිතෙන තැනුත් නැතුවා ම නෙවෙයි. කුණුගොඩ, රියාල් මල් නෙළා ගෙනෙම් වගේ කවි මීට වඩා වෙනස් විදියට පරිකල්පනය කරා නම් මීට වඩා රහ වෙන්නත් තිබුණා කියලා හිතෙනවා. හැබැයි ඒ දේවල් වලට දොස් කියන්න බැහැ. මොකද සාර්ථක කවි බිහිවෙන්නෙ ඒ වගේ රහ අඩු කවිත් ගණනාවක් බිහිවුණාම. ඒක හැම කවියට ම පොදුයි.

කොහොම උනත් 'ඉතින්' දිගටම රහ තැනකින් අල්ලා ගෙන 'රහ කවි පොත්' කියවනවා. සමහර විට ඔබ ලියුව, ඒත් නැත්තම් ඔබ ආස 'රහ කවි පොතක' තියෙන 'රහත්' අපි නුදුරු දවසක විදියි.

| ගයාන් අබේසිංහ



Comments

Popular posts from this blog

කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් කියන්නේ දැන් අපිට උණ හෙම්බිරිස්සාව තරමටම සමීප ලෙඩ රෝග වලින් එකක්. කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතු වෙන්නේ මොන තත්ත්වයන්ද කියන එක වගේම කොලෙස්ටරෝල් අවදානමට ලක් වුණු කෙනෙක් ලඟින් දිස් වෙන රෝග ලක්ෂණ මොනවද කියන එක ගැනත් කලින් ලිපියකින් ඔයාව දැනුවත් කර නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න තියෙන හොඳම ආහාර මොනවද කියන එක ගැන තමයි මේ කියන්නේ. දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක්ට වගේම ඒ රෝගය ඇති වෙන්න කලින් ඒ අවදානමෙන් මිදෙන්නත් මේ ආහාර වර්ග නැතුවම බැහැ. 1. ග්‍රීන් ටී ග්‍රීන් ටී ධමනි පිරිසිදුව හා සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා වගේම හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැළඳීමේ අවධානම ග්‍රීන් ටී මඟින් අවම කරනවා. ග්‍රීන් ටී වල අඩංගු රසායනිකයන් රුධිර නාල වල නිසි ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්. කොලෙස්ටරෝල් අවදානමට දැනටමත් ලක් වුණු කෙනෙක් දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2-3 ක් පානය කිරීම වරදක් නැහැ. 2. නිවිති නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වගේම බොහොමයක් ලෙඩ ...

තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නෙ කොහොමද ?

ඔයාලගෙන් කවුරුහරි කෙනෙක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ විස්තර ටික වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මටත් මේ විස්තර දැනගන්න ලොකු අවශ්යතාවයක් පහුගිය ටිකේ තිබුණ නිසා සහ, සාමාන්‍යෙන් හරියටම මේ තොරතුරු දැනගන්න ටිකක් අමාරු නිසා. මම මේ සඳහන් කරන්නෙ මගෙ අත්දැකීමට අනුව විස්තර ටික. ඉස්සෙල්ලාම මේකට අවශ්‍ය Application ටික හොයාගන්න ඕනෙ. ඔයා ඉන්නෙ බස්නාහිර පළාතෙ නම්, පහල තියන link එකෙන් Download කරගන්න පුළුවන්. එහෙම නැත්තන්, ඔයාට ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් මේ Application එක ගන්නත් පුළුවන්. ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් ගන්න Application එක එක්කම, මේ වැඩේට අවශ්‍ය ලියකියවිලි සහ තව විස්තර ඇතුළත් පත්‍රිකාවකුත් දෙනවා. ඒක වෙබ්සයිට් එකේ නම් ගන්න තියෙනවා දැක්කෙ නෑ. අපි ලියාපදි‍ංචි කරන්න යන ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපි විසින් ඉදිරිපත් කරන්න ඕනෙ ලියකියවිලි වෙනස් වෙනවා. මේ ගැන දෙන විස්තර පත්‍රිකාව මම පළවෙනි comment එකේ දාන්නම්. හැබැයි සාමාන්‍ය ව්යාපාරයකට නම් අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ ටික. 1) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය. (මේක නම් ඔයාටම ...

පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන්...

පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්‌ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක්‌ වන බැවින් අක්‌මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්‌මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්‍රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්‌මාව තුල වියෝජනයට ලක්‌වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස්‌ මගින් අක්‌මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක්‌ වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්‌ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක්‌ ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය. සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන්...